You are here:: News Center Press Releases ආණ්ඩුවේ විහිළු මේ වන විට මුළු රටටම ප්‍රායෝගිකව හෙළි වී තිබෙනවා - රවි කරුණානායක
 
 

ආණ්ඩුවේ විහිළු මේ වන විට මුළු රටටම ප්‍රායෝගිකව හෙළි වී තිබෙනවා - රවි කරුණානායක

front view1රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙනුත් ජනතාව පත්ව සිටින අසීරු තත්ත්වයෙනුත් හෙළි වන්නේ ආණ්ඩුවේ විහිළු මේ වන විට මුළු රටටම ප්‍රායෝගිකව හෙළි වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක සහ කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (22) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් අඛණ්ඩව වැඩි වී ජනතාව අන්ත අසරණ වී සිටියදී පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි කර ජනතාවට සහනයක් නොදුන් ආණ්ඩුව සිය ඇමැති මණ්ඩලයේත් විවිධ රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ප්‍රධානීන්ගේත් සිය හෙන්චයියන්ගෙත් වැටුප් වැඩි කළා. රටේ තරුණ පරපුරේ රැකී රක්‍ෂා අවශ්‍යතා සපුරාලීම සඳහා අවුරුද්දකට නව රැකියා අවස්ථා 125,000 ක් නිර්මාණය කළ යුතුව තිබිය දී අලූතින් රැකියා 30,000 ක් ඇති කිරීමට කටයුතු කරනවා යැයි කියමින් ආණ්ඩුව සැබෑ සංඛ්‍යා ලේඛණ සහ තොරතුරු සඟවා ජනතාව රවටමින් සිටිනවා. තරුණ පරපුරේ රැකියා අවස්ථා සපුරාලීම සඳහා අවුරුද්දකට නව රැකියා අවස්ථා 30,000 ක් නිර්මාණය කළ යුතුව තිබිය දී අවුරුද්දකට මේ ආණ්ඩුවට නිර්මාණය කළ හැක්කේ රැකියා 30,000 ක් පමණක් නම් මේ ආණ්ඩුවෙන් ඇති ඵලය කුමක් ද? තරුණ පරපුරේ අවශ්‍යතාව පරිදි අවුරුද්දකට නව රැකියා අවස්ථා 125,000 ක් මේ ආණ්ඩුව නිර්මාණය නොකර රැකියා 30,000 ක් පමණක් ඇති කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගසා ඇති රහස් ගිවිසුමේ කොන්දේසි අනුවයි. ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්‍ෂම වැඩ පිළිවෙළ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය අංශය මුළුමනින්ම කඬා වැටී ශිෂ්‍යය ශිෂ්‍යාවන් ද, ජනතාව ද අන්ත අසරණ වී සිටිනවා. ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඬා වැටී තිබෙන අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පාසැල් ගුරුවරුන් අතිවිශාල වැටුප් ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඒ උගතුන්ට අපහස සහ උපහස කරමින් ඒ ආචාර්යවරුන්ට නිසි වැටුපක් ලබා නොදී අසරණ කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ තරයේ හෙළා දකිනවා.

 

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිදහසේ සිය අධ්‍යයන කටයුතු සිදු කිරීමට ඉඩ නොතබා ඒ අයට බලහත්කාරයෙන් යුද පුහුණුවක් ලබා දීම තරයේ හෙළා දකින එක්සත් ජාතික පක්‍ෂය ඊට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. රට පුරා රෝහල්වල අවශ්‍ය ඔඣීෂධ සහ සෞඛ්‍ය පහසුකම් නොමැති නිසා අසරණ රෝගීන් තව තවත් අන්ත අසරණ වී සිටින අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය ෙක්‍ෂ්ත්‍රයට කළ විනාශය ගැන කරන හෙළි දරව්වෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන අර්බුදයේ තරම මනාව හෙළි වෙනවා. ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කළේ දුන් පොරොන්දු ගැන විශ්වාසය තබා නියත ලෙස මේ ආණ්ඩුව රටේ ප්‍රශ්න විසඳා ජනතාවට සහන සලසනු ඇතැයි යන විශ්වාසය ඇතිවයි.

 

කෙසේ නමුත් රටේ ප්‍රශ්න විසඳා ජනතාවට සහන සැලසීමට නොහැකි මේ ආණ්ඩුව විපක්‍ෂයේ ප්‍රශ්න ඇති කරමින් විපක්‍ෂයට චෝදනා එල්ල කර ජනතාව නොමඟ යවා සිය ඇඟ බේර ගනිමින් සිටිනවා. එමෙන්ම විපක්‍ෂයේ සමහරු රටත් ජනතාවත් වෙනුවෙන් ආණ්ඩුවට දේශපාලනිකව පහර දී විපක්‍ෂයේ කාර්යභාරය සිදු නොකර ආණ්ඩුවට සිය පැවැත්ම වෙනුවෙන් උපදෙස් ලබා දෙමින් සිටිනවා.

උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අදාළ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එකක් කියා විදේශ රටවලට තවත් විවිධ පරස් පර කතා කියමින් ලොව වටා සංචාරය කරන විදේශ අමාත්‍යවරයාගේ අදූරදර්ශී සහ අකාර්යක්‍ෂම වැඩ පිළිවෙළ හේතුවෙන් රටට විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දී උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අදාළ දේශපාලන විසඳුම සම්බන්ධ ඉන්දීය ස්ථාවරය විවේචනය කරන විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් ඉන්දියාවට ගොස් ඒ ස්ථාවරය අගය කරමින් සහ ඊට එකඟ වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් පවා නිකුත් කර තිබෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ මේ ආණ්ඩුවට පැහැදිලි සහ විධිමත් විදේශ ප්‍රතිපත්තියක් සහ වැඩ පිළිවෙළක් නොමැති බවයි. මේ තත්ත්වය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ඉතාම අහිතකර සහ අවාසි සහගත ලෙස බලපානු නියතයි.

රටේ උද්ගතවී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය ද ජනතාව පත්ව සිටින අන්ත අසරණ භාවය ද අනුව මේ රටේ ආණ්ඩුවක් තිබෙනවා ද යන ප්‍රශ්නය මතු වනවා. විපක්‍ෂයේ ප්‍රශ්න ඇති කරමින් විපක්‍ෂයට විවිධ අභූත සහ අසත්‍ය චෝදනා එල්ල කර ජනතාවගේ අවධානය ඒ ප්‍රශ්න වෙත යොමු කරවා සිය නොහැකියාව වසා ගැනීම හැරුණු කොට මේ ආණ්ඩුවට කළ හැකි කිසිවක් ඇත්තේ නැහැ. සෑම භෝග වගාවක් සඳහා ම පොහොර සහනාධාරය ලබා දෙන බව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පැහැදිලිව කියා සිටියත් මේ වන විට පොහොර සහනාධාරය 35% කින් කප්පාදු කර ගොවියා අසරණ කර තිබෙනවා. සියලූම ගොවි ණය කප්පාදු කරන බවට දුන් පොරොන්දුව ද උල්ලංඝණය කර තිබෙන ආණ්ඩුව නව නිවාස ඉදිකරන බවට දුන් පොරොන්දුව ඉටුකරනවා වෙනුවට කොළඹ ගම්පහ සහ කළුතර ජනතාවගේ නිවාස කඩා විනාශ කරමින් සිටිනවා.

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ද විශ්‍රාම වැටුපක් ලබා දෙන බව කියමින් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ අර්ථ සාධක අරමුදල කොල්ල කා ඒ අරමුදලේම මුදල් විශ්‍රාම වැටුපක් ලෙස නැවත සේවකයින්ට ලබා දී වැඩ කරන ජනතාව නොමඟ යැවීමයි. ඒ කියන්නේ ජනතාවගේ එක් සාක්කුවකින් ජනතාවගේම මුදල් ගන්නා ආණ්ඩුව ඊනියා පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් ක්‍රමයට මුවා වී ඒ මුදල් ජනතාවගේ ම අනෙක් සාක්කුවට දමා ජනතාව රවටා සිය පැවැත්ම තහවුරු කර ගැනීමයි. ජනතාවගේ ම සල්ලි ජනතාවට ලබා දීමට ආණ්ඩුවක් කුමකට දැයි ප්‍රශ්න කරන එක්සත් ජාතික පක්‍ෂය අර්ථ සාධක අරමුදලට අත නොගසා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් විශ්‍රාමික වැටුපක් ලබා දෙනවා නම් ඊට ආණ්ඩුව මුදල් යෙදවිය යුතු බව තරයේ කියා සිටිනවා.

විදුලිය ගාස්තු සහ ජල ගාස්තු ද තෙල් මිල රුපියල් 25 ත් 30 ත් අතරප්‍රමාණයකින් ද අඩු කළ හැකිව තිබෙන නමුත් එසේ මිල ගණන් අඩු කර ආණ්ඩුව ජනතාවට සහන නොසලස සන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගසා ඇති හොර ගිවිසුමේ කොන්දේසි අනුවයි. වියදම් අඩු කර ආදායම් වැඩි කරන්නැයි ද සියලූම සහන කප්පාදු කරන්නැයි ද අපට කොන්දේසි පනවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමානාකාර අධ්‍යක්‍ෂවරයා ඒ කොන්දේසි අනුව කටයුතු නොකර රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කරමින් තරු හෝටල්වල සැප ගැනීම ගැන මේ වන විට මුළු ලෝකයටම කරුණු හෙළි වී තිබෙනවා. ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්‍ෂම ක්‍රියා කලාපය හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහනය අපට අහිමි වීමෙන් අවුරුද්දකට රුපියල් කෝටි 2500 ක පාඩුවක් අපට සිදුව තිබෙන බව පැහැදිලිව කිව යුතුයි. අපේ අඩු පාඩු නිවැරැදි කර ගෙන මේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලබා ගෙන ඒ රුපියල් කෝටි 2500 ය හිමි කර ගනිමින් ඒ මුදලින් රටසංවර්ධනය කොට ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙළක් ඇත්තේ නැහැ.